Sunday, October 2, 2011

හැඳින්වීම


හ්ම්... කොහෙන් පටන් ගන්නද මන්ද?

මං
හා හපුරා කියලා මාත් ඉතින් සිංහල බ්ලොග් එකක් ලියන්න අත ගැහුවා. මුලින්ම කියන්නම්කො මම කවුද කින්ද මන්ද කියලා. නම චාමික වීරසිංහ. ‍මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන්න‍නේ අනාගතේ පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න. ජංගම දුරකථන මෘදුකාංග පැත්තට මම ටිකක් බරයි. ඉන්නේ රාගම. පාසැල් ගියේ කොළඹ වේළුවන විද්‍යලයට සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට. ඇති වගේ මං ගැන පාරට්ටු ගැහුවා...

ඇයි
මම සාමාන්‍යයෙන් හිනා වෙලා ඉන්න කැමති කෙනෙක්. කොච්චර වගකීම් තිබුනත් ඒවා අතේ දුරින් තියාගෙන හිත සැහැල්ලුවෙන් ඉන්නම තමයි මං උත්සාහ කරන්නේ. මගේ ජීවිතයේ කරන-කියන හිතන-පතන දේවල් අනිත් අයත් එක්ක බෙදා ගත්තොත් හොඳයි කියන අදහස ඇවිල්ල තමයි මේක පටන් ගත්තේ. මේක කියවන ඔබ හිතන්නේ ජීවිතය තියෙන්නේ විඳවන්න කියලනම් මෙතනින් එහාට කියවන එක නැවැත්තුවට කමක් නෑ. ජීවිතය විඳින්න මං සොයන අයගේ හිතට දිය දෝතක් වත්කරල ජීවය දෙන්නයි මේ බ්ලොග් එක පුරාවට මගේ අරමුණ වෙන්නේ...

මොනවද
කලින් කිව්ව වගේ මෙතන ලියන්නේ මං අත්විඳපුවා තමයි. සාමාන්‍ය පවුලක් ඉපදිලා කට්ට කාගෙන ඉගෙන ගන්නවා කියන මේ කටුක මාවතේ හමුවුණු ‍දේවල් තමයි ලියන්නේ. ඒ අතර ආසාවට කරන ඡායාරූපකරණයේ ප්‍රතිඵලත් මේකට එකතුවෙයි. අපේ ලංකාවේ මිනිස්සුන්ට කලබලකාරී මොළය විකල් කරන ජීවන රටාවෙන් මිදිලා හිත සංතෝසෙන් ඉන්න කරන්න පුළුවන් දේවල් මේ බ්ලොග් එකෙන් ඉදිරියට දිග ඇරෙයි. ලංකාවේ සංචාරය කරන්න, සමාජයත් එක්ක ගැටෙන්න, ජීවිතය රස විඳින්න මේක පිටුවහල් වෙයි කියලා මම හිතනවා.

එහෙනම් ඉතින් දෙයියන් බුදුන් සිහිකරගෙන ඔන්න එබුවා "PUBLISH POST" බටන් එක...